~ ජීවිතේ ආදරෙන් අල්ලගන්න DEAR ZINDAGI ~

මෑතක ඉඳන් බොලිවුඩය ඇතුළෙ නිදහස් මතවාද - ජීවිත හැඩතල - මානව සබඳතා චූටි චූටි ප්ලොට් අරං හරි ගැඹුරින් විග්‍රහ කරනව. ඒ වැඩේ මරේ මරු !

01 Dec 2016 0 comment

මැචුවඩ් කෙල්ලෙක්ගෙ හද කුටීරෙ හුස්ම ගන්න ‘සිම්පල් ආශාවන්’ ගැන රහසෙ කියල දෙන භාවනාවක් වගේ DEAR ZINDAGI.

මේ භාවනාව සතර අභිනයෙන්ම පිළිපදින්නෙ Alia Bhatt. ඒ ගැන ආදරෙන් උගන්වන්නෙ SRK.

මතුපිටින් සරලව පේන්න ‘ආලියා’ නිදහසේ දෑත් දෙපසට විහිදලා පියෑඹුවට හදවතින් දරාගෙන ඉන්න ‘පීඩනය’ සහෘදයන්ගෙ හදවත් ‘බර’ කරනව. එතකොට හැම ඇසිල්ලක්ම ඉවසිල්ලක් නැතුව ගලාගෙන යනව.

කතාව පුරා දිවෙන සිනමාවකාශයෙ ‘හිස්තැනක්’ ඔබට පෙනුණද.? අන්න එතන ඉන්නෙ ඔබ ! මම !

‘හැම පිරිමියෙක්ටම කවියෙක් වෙන්න බැරි වුණාට හැම ගැහැනියකටම කවියක් වෙන්න පුළුවන්’ කියල අන්න එතකොට මට දැනෙනව. ආලියා හිනාවෙනව. අඬනව. සිංදුවෙන් ජීවිතේ හොයනව. බිංදුවට වැටිල පිස්සු නටනව.

ඒ සුන්දර පිස්සුවට කියන නම තමයි මිත්‍රයා ‘රංගනය.’ මට එහෙම හිතෙනව.

මේ මොහොතෙ ඉන්දීය සිනමාවෙ ආලියව මං හඳුන්වන්න කැමති ‘කම්මුල් වලින් රඟපාන කෙලි පැටික්කි’ කියල. ඇගේ රංගනය පිටිපස්සෙ ඉන්නෙ ආදරණීය අප්පොච්චා Mahesh Bhatt. මේ රසමසවුළු වලට ‘ශාරුක්’ගෙ මුහුණෙ තුනපහ එකතු වුණාම තව මොන කතාද ?

ශාරුක් තමන්ගෙ වයස එකතැන නවත්තලා - දවසින් දවස අලුතින් ඉපදෙනව කියල දැනෙනව. මේ වැඩේ හරිම සුන්දර තැනක් තමයි ‘ශාරුක් ආලියා දෙන්නා මුහුද ළඟ ඉඳන් මුහුදු රැල්ල එක්ක ‘කබඩි කබඩි’ කිය කිය සෙල්ලං කරන එක. අන්න මූමන්ට්ස් !  

‘ජීවිතේ වෙනස් වෙන ලස්සන’ එක සිංදුවකින් පෙන්වන්න තරං සිනමාපටය හරි ඉසියුම්. ශාරුක් සීරියස් ඇක්ට් කරනකොට ආලියගෙ වේට් එක ගාණට සෙට් වෙනව. මෙන්න නළුවො !

සිනමාපටයෙ හිමිකාරි Gauri Shinde ඉදිරියටත් ‘හුදෙකලා ස්ත්‍රිය’ ගැන ලෝකෙට පහදයි ; ආදරේ විහිදයි.

ඔබේ ජීවිතේ ඉන්න ප්‍රේමණීයම ඇඳුරුතුමියයි - ඇඳුරුතුමයි එක්ක මේ ‘ආදරණීය ජීවිතය’ විඳින්න. එතකොට හැම මොහොතෙම ආදරෙන් තෙමි තෙමි ඉන්න පුළුවන් !!!

| කසුන් මහේන්ද්‍ර හීනටිගල

Media

Leave a comment

Mirrorarts.lk Latest Gossip and Entertainment News of Sri Lankan Celebrities