"කොළ ඇස් ඇති , ගරිල්ලා කුමරිය"

අත්ලාන්තික් සාගරය රිද්මයානුකූලව තම රළ අහසට විසි කරමින් වෙරළ වෙත පැමිණෙමින් සිටියේ දඩබ්බර ලෙසින් නොව විනීත අයුරිනි. රට තුල සිදුවෙන දේ සම්බන්දයෙන් සයුරට කිසිදු වගකීමක් හෝ නිනව්වක් නැත. මේ අතර නටාලියා රෙවුල්ටා [Natalia Revuelta] නම්වූ ඇය රන්වන් හිරු දියෙන් නැහැවුණු ක්ෂිතිජය දෙස තම දිගු දෙනෙත් යොමු කරමින් සිටියාය.

01 Dec 2016 0 comment

හදවතේ රිද්මයට සමපාත වෙමින් දිය රැළි මත උස්පහත් වෙමින් ගමන් ගන්නා යාත්‍රාවක් ඇයගේ පර්යාවලෝකයට ඇතුල් වීමට උත්සාහ ගනිමින් සිටියි. නමුත් ඇයට ඒ කිසිවක් නොදැනුනේ ඒ වන විටත් රට තුල දියත්වන විප්ලවය හා දිලිසෙන ඇස් ඇති කඩවසම් තරුණයා ෆිදෙල් ඇයගේ මනසේ නැංගුරම්ලා සිටි බැවිනි. ඇය ඔහු වෙත තම සිතෙන් දිරි පතමින් හබානා වියෙජා [La Habana Vieja] හෙවත් පැරණි හවානාවේ [ Old Havana] සිට සැතපුම් එකහමාරක දුරින් පිහිටි සුදු වැල්ලෙන් යුතු මනරම් මුහුදු වෙරළ තීරයේ මෙසේ තනිවී සිටියාය.

ඒ 1953 වර්ෂයයි. සන්තියාගෝ නුවර මොන්කාඩෝ බැරක්කය [ Moncada Barracks] වෙත ඇයගේ පෙම්බරයාවූ ෆිදෙල් කැස්ත්‍රෝ සහ එකසිය හැට දෙනෙක් වූ අනෙකුත් විප්ලවකරුවන් එල්ලකළ ප්‍රහාරයත් සමඟ පාලක ඒකාධිපති බැටිස්ටා [ Batista] සිටියේ වියරුවෙනි. කාලයක සිට අරාජික වෙමින් පැවති රට ලෝක බලවතා වන ඇමරිකා එක්සත් ජනපදයට රිසි ලෙස දක්කමින් සිටි බැටිස්ටා, තමන්ට එරෙහිව ඇතිවෙමින් යන මෙම නව අභියෝගය දෙස වික්ෂිප්තව බලා සිටියේය. ලොව මහා බලවතාගේ එළිපත්තේ සිට අත්ලාන්තික් සයුරේ මුතු ඇටය වූ කියුබාවේ උතුරු කොටසට ඇත්තේ කි.මී 140 පමණි. එබැවින් ඕනෑම අවස්ථාවකදී කැරැල්ල මැඩ පැවැත්වීමට අවැසි වුවහොත් ඒ සඳහා, ඇමරිකා එක්සත් ජනපදය සිටි බැවින් මෙම අලුත් තරුණ කැරලිකරුවන් දෙස ලෝකය මුලදී එතරම් අවධානයක් යොමු කලේ නැත. නමුත් කියුබානු පාලකයා විසින් කැරළිකරුවන් සිරබාරයට ගත් අතර ෆිදෙල්ද ඔවුන් අතර විය. විප්ලවයට ආශීර්වාදය ලබා දුන් කියුබානුවන්ට මෙය කනගාටුවට කරුණක් වූවාසේම , කියුබානු තරුණයන්ට විප්ලවය දෙසට නැඹුරුවීමට මෙම කාරණය ඉබේම උත්තේජනයක් සපයා තිබුණි. ෆිදෙල් අත් අඩංගුවට පත් වීම පිලිබඳ නටාලියා රෙවුලෙටාද සිටියේ කැලඹුණු සිතිනි. ඒ ඔහු පිලිබඳ ඇය තුල ඇති කිව නොහැකි තරම්වූ ස්නේහය නිසා වුවත් ඇයගේ සිතද තම දේශය තුල පිබිදෙමින් එන තරුණ කැරැල්ලට ෆිදෙල් නායකත්වය ලබාදීම පිලිබඳවූ ආඩම්බරයෙන් පිරීගොස් තිබුණි. ඇයගේ පුර්ණ ආශිර්වාදයද විප්ලවය වෙත හිමිව තිබුණි. මේ අතර දිලිසෙන ඇස් ඇති ෆිදෙල් කැස්ත්‍රෝ මොන්කාඩෝ ප්‍රහාරයට මාස කිහිපයකට පසුව එනම් ඔක්තෝම්බර් මස දාසයවන දින සමස්ත විප්ලවය පුරාවටම නිතර ඇසුණු සුප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය. ඒ "History Will Absolve Me" නැතිනම් "ඉතිහාසය මා නිදහස් කරනු ඇත" යන්නයි. ඒ වනවිට යාන්තම් මෝදුවී තිබු නමුදු තව බොහෝ දුර යාමට නියමිතව ඇති විප්ලවයේ කාර්යය භාරය පිලිබඳ හොඳ ඉඟියක් මෙහි ගැබ්ව තිබුණි.

ඇය කස්ත්‍රෝගේ විප්ලවයට ආශීර්වාද කිරීමෙන් නොනැවතුන අතර , විප්ලවකරුවන්ගේ රහස් හමුවීම් හා සියලුම රහස් සාකච්ඡ සඳහා තම නිවස යොදා ගැනීමට සැලැස්විය. මෙහිදී කැස්ත්‍රෝ ඇතුළු කණ්ඩායම නතාලියා කෙරෙහි පුර්ණ විශ්වාසය තැබීම සුවිශේෂම දෙයක් වනුයේ, මෙහිදී රස්‍යයභාවය නැතිවී ගියානම් ලෝකය වෙනස් කල කැස්ත්‍රෝ සහ චේගුවේරාගේ සමාජවාදී විප්ලවය ඉතිහාසයේ කුණු බක්කියට යාමට ඉඩ තිබුණි. "ඔවුන් කතා කලේ බොහොම සෙමින් , මධ්‍යසාර පානය කලෙත් නැහැ. අංකුර අවදියේ උවත් ඔවුන් තුල හොඳ විනයක් තිබුනා, තම කාර්යය වෙනුවෙන් කැප වී සිටියා" නටාලියා පසු කාලයේදී ප්‍රකාශ කලාය. මෙහිදී එතනින් නොනැවතුණු නටාලියා තමන් සතු , දියමන්ති හා මැණික් වලින් සමන්විත ස්වර්ණාභරණ ආදියද මුදල් කර කස්ත්‍රෝ වෙත ලබා දුන්නේ, මුළු හදින්ම තම මව්බිමේ දියුණුවට හා තම දේහධාරී පෙම්වතාගේ විප්ලවීය සිහිනය යතථාර්ථයක් කර ගැනීමටය.

කොළ පැහැති දෙනෙත් සුන්දර නටාලියා රෙවුල්ටාට ආභරණයක්ම විය. කියුබානු අග නගරය වූ හවානාවේ සියලුම පිරිමින් සතු ඇස් ඇය පිලිබඳ උනන්දුවක් දැක්වූවේය. ඒ කාලය වන විට ඇය විසි හය වියැතිය. එමෙන්ම කැස්ත්‍රෝ මුණගැසීමේ ප්‍රතිඵලයක් ලෙස ඇය තම වයෝවෘද්ද ධනවත් සැමියාගෙන් වෙන්වී සිටියාය. ඔර්ලන්ඩෝ ෆර්නැන්ඩනස් [ Orlando Fernandez Ferrer ] නම්වූ ඉසුරුමත් කීර්තිමත් වෛද්‍යයවරයා සමඟ වූ විවාහය දෙකඩ වීමත් සමඟම තනිකඩවූ රූමත් නටාලියා කස්ත්‍රෝ හා ඔහුගේ විප්ලවය වෙනුවෙන් තම හදෙහි සින්නක්කර ඔප්පු ලියුවාය. ඇය වෙත උපතින්ම හිමිවූ මහේශාක්‍යය පෙනුම සහ මහජන සම්බන්ධතා විෂයෙහි ඇය සතු වූ හැකියාව පනහේ සහ හැටේ දශකයේ කියුබාවේ ඉහල ඉදිරිපෙල රුමතියක් ලෙස ඇයට කැපී පෙනීමට උපකාරී විය. විවාහය දෙකඩ වීමට ප්‍රථම විශේෂඥ වෛද්‍යයවරයා ඔහුගෙන් ඇය වෙත දියණියක් තිළිණ කර තිබුණි. කියුබානු විප්ලවයට පෙර 1952 දී පමණ ෆිදෙල්ගේ හා නටාලියාගේ ආදර කතාව ඇරඹුණු අතර ඒවන විටද තරුණ විප්ලව නායකයා ෆිදෙල් පිරිමි දරුවකුගේ පියෙකු බවට පත්ව සිටියේය. ඒ ඔහුගේ පළමු බිරිඳ මරීටා ඩයස් ගේ කුසිනි. [ Mirta Diaz-Balar ]

සිපිරි ගෙදර සිට කැස්ත්‍රෝ නටාලියා සමඟ ලිපි මඟින් ආදරය යාවත්කාලීන කිරීම හොඳින් කරගෙන ගියේය. කැස්ත්‍රෝ ගේ අවංක බව පිලිබඳ ප්‍රශ්න ඔහුගේ පෞද්ගලික ජිවන දත්ත ඇසුරින් තිබුනද වාර්තා වන ලෙසට ඔහුත් බොහෝසේ කොළ ඇස් ඇත්තියට ආදරය කළේය. "ඔබ මට මහාර්ඝ වස්තුවක්. මගේ අවසන් ගමන දක්වාම ඔබව මාත් සමඟ රඳවා ගන්න උවමනායි " ඔහු ඇයට වරක් එසේ ලියා තිබුණි. " ඔහු බොහෝ අවස්ථාවල මට ඇති ආදරය මට දැනෙන ලෙසම ප්‍රකාශ කළා.ප්‍රධානම දෙය ඔහු විප්ලවය දිනුවා , ජනතාවගේ රජයක් කියුබාවේ ඇති කළා. ඒ වගේම මට හැඩකාර දියණියක් ඔහුගේ ලේ වලින් සාදා දුන්නා. " නටාලියා ඔහුව අගය කලත් ෆිදෙල් , ඇය හා සංයෝග වීමෙන් බිහිකළ දියණිය ඇලිනා ෆර්නැන්ඩස් [ Alina Fernández] සැම විටම ෆිදෙල් පිලිබඳ යහපත් ආකල්පයක් නොදක්වයි. ඇය ප්‍රකාශ කර තිබුනේ තමුන් ෆිදෙල්ව කෙදිනකවත් තම පියා ලෙස නොසලකන බවයි. 1993 වර්ෂයේදී ඇය කියුබාවෙන් එක්සත් ජනපදය වෙත පදිංචියට ගිය ඇය ඉන්පසු පුවත්පත් හරහා තම පියා පිලිබඳව අප්‍රසාදය පල කර සිටියාය. තම විප්ලවකාර පියා හට බිරියන් රාශියක් හා දරුවන් රාශියක්ම සිටින බවත් ඇය කියා සිටියාය.

නටාලියා සැබවින්ම විශිෂ්ට කාන්තාවක්, නිසැකවම ඇය උපන් බිමට ණය නැති තැනැත්තියක් විප්ලවය සාර්ථක වීමෙන් පසුව , එයට සම්බන්ද වූ විප්ලවීය සහෝදරයන් වෙත කැස්ත්‍රෝ ඇයව අගය කරමින් ප්‍රකාශ කර ඇත. සැබවින්ම 1953 සිට ඔහු සිරගතව සිටි 1955 වර්ෂය දක්වාම ඔහුගේ සිත අස්වස්සමින් සිරගෙය විශ්ව විද්‍යයලයක් බවට පරිවර්තනය කිරීමට කියුබානු රූමතියට හැකි විය. එමෙන්ම නටාලියා කියුබානු විප්ලවයට කෙලින්ම සම්බන්ද නොවූවද ඇය ෆිදෙල්ට හා පක්ෂය වෙත එන්නත් කල ධෛර්යය අතිමහත්ය. අතිශය සුඛෝපභෝගී දිවියක් හිමිව තිබූ ඇය සියල්ල පසෙක දමමින් කඩවසම් විප්ලව නායකයාට මෙන්ම කියුබානු දේශයට ඇති ආදරය නිසා කැරළිකරුවන් වෙත සමීප වුවාය. ගරිල්ලා කුමරිය නැතිනම ගරිල්ලා ප්‍රින්ස් [Guerrilla Prince] ලෙස ඇය කියුබාව පුරා විරුදය ලබා තිබුනේ ඇයගේ මෙම ක්‍රියා කලාපය නිසාවෙනි. ෆිදෙල් කස්ත්‍රෝගේ මුහුණ පුරා වැවී තිබු සුප්‍රසිද්ධ රැවුලේ නිර්මාතෘවරිය වන්නේද ඇයයි. නමුත් මේතරම් කස්ත්‍රෝට සුවිශේෂ කොළ ඇස් ඇති ආකර්ෂණිය නටාලියා කෙදිනකවත් කියුබානු නායකයාගේ බිරිය නැතිනම් කියුබාවේ පළමු කාන්තාව වීම සිදු නොවුයේ මන්ද යන්න පිළිබඳව දන්නේ ඔවුන් දෙදෙනාම පමණි. දිවිය පුරා නිත්‍යානුකුල බිරින්දෑවරු තිදෙනෙක් සිටි ඔහුට ගරිල්ලා කුමරියව තම නිවසට රැගෙන යාමට නොහැකි වුයේ ඇයි යන්න එකල හවානා සමාජයේ නිරන්තර කතිකාවතට ලක්වී තුබුණි.

නොබෙල් ත්‍යාගය දිනු ඇමරිකානු සාහිත්‍යයධරයා වන අර්නස්ට් හෙමිංවේ [Ernest Hemingway] වරෙක නටාලියාට ප්‍රකාශ කර සිටියේ මට මගේ නිවසේ සිටින හුරුබුහුටි නමුත් මහේශාක්‍ය පෙනුමැති පර්සියන් බැළලිය ඔබව සිහි කරවනවා . ඔබගේ දෙනෙත් සහ බැළලියගේ දෙනෙත් එක වගේමයි යනුවෙනි. කියුබානු අග නගරයේ ඉපිද ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යයාපනය ලබා කියුබානු සමාජයේ ඉහලින් වැජඹී , එතෙක් ගත කල මහේශාක්‍යය දිවියට සමු දෙමින් ෆිදෙල් සහ ඔහු පැතූ සමාජවාදී ජනතා රජය වෙනුවෙන් කැපවූ කොළ දෙනෙත් හිමි ගරිල්ලා කුමරිය පසු ගිය සතියේ තම දිවියටද සමු දුන්නාය. දීර්ඝ කාලයක් හුදකළාවේ අසනීපයෙන් සිටි ඇය දිලිසෙන ඇස් හිමි විප්ලවකරුවාට කොතරම් ප්‍රේමණිය වුවාද යන්න ෆිදෙල් කැස්ත්‍රෝටත් වඩා දන්නේ හවානාවේ මනරම් වෙරළ හා නිල් රළ පෙළයි.

ප්‍රවීණ සේනාධීර,
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Mirrorarts.lk Latest Gossip and Entertainment News of Sri Lankan Celebrities