"සබන් බෝල පූගන්න"

දේවි අක්කා පහේ ශිෂ්‍යත්වය සමත් වූයේ අම්පාර, චඩයන්තලාව, විජයපුර විද්‍යාලයෙනි. ඒ අසූ දෙක අවුරැද්දේදීය. ඇය ඒ පාසලෙන් ශිෂ්‍ය‍ත්වය සමත් වූ පලවැනියා වූවාය.

02 Dec 2016 0 comment

ඇය පදිංචි වී සිටියේ විස්සෙ කොලනියේය. තාත්තා ගොවියෙකි.ඇයට තවත් බාල සහෝදරයන් දෙදෙනෙකු සිටි බවට යම් මතකයක් ඇත්තෙමි. ඇය ලබාගත් ලකුණු මත මාතර සුජාතාවට තෝරා ගෙන ඇත. ඇයගේ මව්පියන්ට මාතර සුජාතාව හෝ ඇයගේ අධ්‍යාපනය හෝ සම්බන්ධයෙන් ලොකු වැටහීමක් තිබුනේ නැත. ඇයට සුජාතාවෙහි අධ්‍යාපනය ලබා දීමට වැඩිපුරම මහන්සී වූයේ පාසලේ ගුරැ මණ්ඩලයයි. පාසලේ ගුරැ මණ්ඩලයම වාගේ පළමු පත්වීම් ලාභීන්ය. ඔවුහූ සියලු දෙනාටම ඇයගේ ජයග්‍රහනය ගැන අහිංසක ආඩම්බරයක් තිබුනහ.

දේවී අක්කා මාතර ආවාය. ඒ ඇයගේ තාත්තාත් පාසලේ විදුහල්පතිවරයාත් සමගය. ඇය සුජාතාවේ නේවාසිකාගාරයෙහි නවාතැන් ගන්නට සිතා සිටියාය. එහෙත් කුමන හෝ කාරනයක් නිසා ඇයට නේවාසිකාගාරය හිමි වූයේ නැත. ඇයට නවාතැනක් සුජාතාව අවටින් සොයා ගන්නා තෙක් අප නිවස ඇයගේ නවාතැන වූවාය.

ටික දිනක් ගතවෙද්දී ඇය අපගේ වැඩිමහලු අක්කා වූවාය. එකල පස්වැන්නේ ශිෂ්‍ය‍ත්වයට සූදානම් වෙද්දී ඈ සියලු පාඩම් කියා දුන්නීය.

මසකට දෙකකට වරක් ඇයගේ තාත්තා සහල් මිටියක් රැගන ඈ බලන්නට පැමිනෙයි. එය බෝඩිං ගාස්තුවය. ඇයගේ තාත්තා දිනක් අම්මාට කියා තිබුනේ ඇයට බෝඩිං ගාස්තු ගෙවන්නට තරම් හැකියාවක් නොමැති බවයි. ඇයට අප නිවසෙහි ඉන්නට හරින්නට ඉල්ලුවේය. අම්මා එයට කැමති වූවාය. ඒ ඇයගේ ඉගැනීමට කරන උපකාරයක් ලෙසයි.

ඇය මාතරදී පලමු වරට මුහුදු රළ පෑගුවාය. ඈ කෙතරම් මුහුදට බියවීද යත් අම්මාට ඈ මුහුදට ඇදගෙන යෑමට සිදුවුනාය. ඇයගේ භාෂාවෙහි සමහර වචන අපට පුරැදු නැත. ඇය බස් එක හිටෙව්වාය. සබන් බෝල පූගන්න යැයි කීවාය. ඒ කියන්නේ පුම්බන්න කියලා පසුව අපට තේරැනි.

ඇය ඉගෙනීමට දක්ෂය. ඇය මුහුන දුන් පළමු විභාගයේදී ඉහල ස්ථානයක් හිමි කර ගත්තීය. ඈ ඉංග්‍රීසි භාෂාවට ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තේ නම් ඉතා ඉහල ස්ථානයක් හිමි විය හැකිව තිබුනේය. ඇය කියන්නේ ඈගේ පාසලට ඉංග්‍රීසි භාෂාවට ගුරැවරයෙකු පළමු වරට ඈගේ පාසලට ආවේ ඈ ශිෂ්‍යත්වය සමත් වූ වසරේ මුලදී කියාය. ඈ ඒ ගැන දුක් වුනාය.

ඈ හට ඇඳුම් ආයිත්තම් වැඩිපුර තිබුනේ නැත. අම්මා දිනෙක ඇයට ගවුමක් කඩෙන් ගෙනැවිත් දුන්නීය. ඈ පැවසුවේ එවැනි ත්‍යාගයක් ලැබුනු පළමු අවස්ථාව එය කියාය. ඈ තලඑලලුය. පාසල් යද්දී ඈ පුයරවලින් මුහුන නාවාගෙන යන්නීය. ඒ සුදු වන්නටය. ඈ වෙසක් මුහුණක් පැලඳ ගත්තාසේ මුහුනෙහි පුයර දමා ගෙන යන්නේ නම් ඈ සමග අපට යා නොහැකි බව දිනක් අප කියද්දී ඈ හොඳටම හැඩුවාය. අම්මා අපට බැන වැදුනු පසු ඇගේ හැඩීම නැවතුනාය. තවත් දිනෙක අප කවුරැත් නිවසෙහි නැති අවස්ථාවෙක ඈ අපගේ දිග කලිසමක් හැඳ හැඩ බලමින් සිටියදී අප නිවසට ආවේය. ඈ අපගේ දිගු කලිසමක් හැඳ සිටිනු මල්ලීත් මමත් දුටුවෙමු. ඈ ඒ අවස්ථාවේදී කෙතරම් බියට පත්වූයේද යත් අම්මාට හෝ තාත්තාට මේ ගැන නොකියන්නයැයි අපට වැඳ වැටෙමින් ඈ ඉල්ලා සිටියාය. ඈ එසේ ඉල්ලා සිටියේ ඇයිදැයි අපට සිතාගත නොහැකි වුවද මෙම සටහන ලියන තෙක් එය අම්මාට නොකීවෙමු. සමහර විට අම්මා ඇයට බැන වදීවී යැයි සිතා ඈ බිය වන්නට ඇත.

එකල අප ජීවත්වූ නිවස කුඩා නිවෙසකි. එහි තිබුනේ කාමර දෙකකි. ඈ හතේ පන්තියට සමත් වූ වසරේදී අප නිවසෙහි පෙරලියක් සිදුවිය. ඒ පෙරලියෙහි වින්දිතයා බවට පත්වූයේ ඇයයි. ඒ වසරේදී අප නැන්දා කෙනෙකු සැමියාගෙන් දික්කසාදව ඈගේ දරැවන් තිදෙනාත් ආච්චීත් සමග අප නිවසට ආවාය. කුඩා කාමර දෙකක නිවසෙහි මෙතරම් පිරිසකට ජීවත් විය නොහැකිවිය. ඒ දිනවල නිවසෙහි ජනගහණය දහයක් පමණ වූයේය. ඈ පළමුව සාලයේ නිදා ගත්තීය. එහෙත් එය එතරම් පහසු කටයුත්තක් නොවුනේය. ඈ පරිහරණය කල කාමරයෙහි තිබූ පොත්පත් ඈගේ පුදගලිකදෑ සමග නැන්දලාගේ පවුල පදිංචි විය.

එකල අපගේ ආර්ථික තත්වයද, නිවසේ ප්‍රමාණයද, නිවසෙහි ජනගහණය වැනි සියලු සාධකයන් සලකා දිනක් අම්මාත් තාත්තාත් ඉතාම අපහසු වූ තීරණයක් ගත්හ. එයට අප හවුල් කර නොගත් නමුත් අපට අම්මලා කතා කලදේ ගැන වැටහීමක් තිබිනි. අවසන අම්මා දේවි අක්කාගේ තාත්තාට වහාම එන්නට යැයි කියමින් විදුලි පණිවුඩයක් යැව්වාය. දේවි අක්කාගේ තාත්තාත් අම්මාත් බොහෝ දේ රැගෙන නිවසට ආහ. හාල්, කෙසෙල්, කිරි පැණි වැනි බොහෝ දෑ ඔවුන් ගෙනාවේය. අපට එදා නොතේරැනද ඔවුන් පැමිණ ඇත්තේ දේවි අක්කා වැඩි වියට පත්වී ඇතැයි යන සැකයෙන් විය යුතුයැයි පසුව අපට වැටහිනි.

ඔවුන් ආ විලාශයෙන් අම්මා මහත් අසරණ තත්වයකට පත් වූ සැටියක් පෙනිනි. දේවි අක්කාගේ අම්මා කිහිප සැරයක් අම්මා සමග රහස් සාකච්ජා පැවැත්වූවාය. අම්මා සෑහෙන අපහසුවකින් සිටිනු අපට පෙනිනි. අවසන අම්මා දේවි අක්කාගේ තාත්තාට කාරණය පැහැදිලි කලාය. නිවැසියන් ප්‍රමාණය වැඩිවී ඇති සැටි ඔවුනද දුටුවේය.

පසුදින උදෑසනින්ම දේවි අක්කාගේ තාත්තා දේවි අක්කාට බෝඩිමක් සොයන්නට ගියේය. ඔහු දින දෙක තුනක් එසේ නවාතැන් සෙව්වද ඔවුනගේ ආර්ථිකයට සරිලන නවාතැනක් සොයාගත නොහැකිවිය.

අවසන ඔහු තීරණයක් ගත්තේය. ඔහු දේවි අක්කා සුජාතාවෙන් අස්කර ගත්තේය. නැවත අම්පාරේ ඈගේ පාසලට ඇතුලත් කරන බව කීවේය. එදා දේවි අක්කා හොඳටම හැඩුවාය. ඈ සාලයේ නිදිය ගන්නට හැකියැයි කියමින් හැඩුවාය. ඈ ඉගෙන ගෙන ගුරැවරියක් වෙන්නම් යැයි කියමින් හැඩුවාය. එහෙත් අම්මා ඇතුලු සියලු දෙනා මුහුන දුන් ප්‍රශ්ණය හමුවේ අසරණ ව සිටියේය.

පසුදින උදෑසනින් ඔවුන් අපෙන් සමු ගත්තේය. දේවි අක්කා හඩමින් යන්නට ගියාය. ඈ ඉන්පසු කිසිදිනෙක අපට හමුවූයේ නැත.

නීතිඥ උපුල් කුමරප්පෙරුම

Leave a comment

Mirrorarts.lk Latest Gossip and Entertainment News of Sri Lankan Celebrities